හොඳ හා නරක එක්බඳු නො වේ. ඔබ හොඳ දැයින් (නපුර) නවත්වන්න. එමඟින් ඔහු හා ඔබ අතර පැවැතුණු එදිරිවාදිකම ඉවත් වී ඔහු මිතුරකු වේ. මෙය (මේ සෙත) ඉවසිලිවන්තයින් විනා අන්‍යයෝ අත් කර නො ගනිති. තව ද, මනා වාසනාවන්තයෙකු මිස අන්‍යයෝ එය අත් කර නොගනිති. සාතාන්ගේ නපුරු යෝජනාවකින් ඔබව පෙලඹ වී නම්, ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.... (අල්-කුර්ආනය 41:34-36)     අල් කුර්ආනයේ සහ දේව දුත මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් ඇතුලත් ඔබේ නව නිර්මාණයන් එළි දැක්වීමට (safras.m@ahsaic.org) වෙත එවන්න    
  • මේ දක්වා නරඹා ඇත
    Top Widgets For Websites
     
    Flag Counter
     
     


    ධර්මග්‍රන්ථයට දියයුතු ධර්මතාවයන්





    ධර්මග්‍රන්ථයට  දියයුතු  ධර්මතාවයන් 

    අපි කවරකුට ධර්ම ග්‍රන්ථය ප්‍රදානය කළෙමුද? ඔවුන් එය අවංකව කියවති. එය විශ්වාස කරන්නෝද ඔවුන්ය. කවුරුන් එය ප්‍රතික්ෂේප කරන්නේද, පරාජිතයන් වන්නේ ඔවුන්ය. 2:121

    මහරජෙකු තම රට වැසියන්ගේ උන්නතිය වෙනුවෙන් ඔවුන් පිළිපැදිය යුතු නියමයන්, වැළකී සිටිය යුතු සීමා මායිම් හා සතුරන්ගෙන් ආරක්ෂා විය යුතු ක්‍රමවේදයන් පිළිබඳ සටහන් කර හසුනක් ඔවුනට යවන්නේය.

    මෙම හසුන ලද රට වැසියන් ඔවුන්ගේ පාලක මහරජු විසින් යවන ලද එම හසුන පිළිබඳව සල්ලාපයෙහි යෙදෙමින්, එය තම සිරස මත තබා ගරු බුහුමන් කරකර, එය ශබ්ද නගා ගායනය කරමින් සතුටු සාදයන්හි යෙදෙමින් කාලය ගත කරති. එම හසුනෙහි අන්තර්ගත ඔවදන් ගැන නොදැනුවත් ඔවුන් මෙසේ කාලය ගෙවද්දි, හදිස්සියේම ඔවුන්ගේ හතුරන් ඔවුනට පහර දී ඔවුන්ව සුනුවිසුනු කර දමන්නේය. ඇත්තෙන්ම ඔවුන් තම රජ හසුනෙහි අන්තර්ගත ඔවදන් ගැන දැන එය ක්‍රියාවෙහි යෙදුවේ නම් සතුරන්ගේ මෙවන් පහරදීම් හෝ ආක්‍රමණයන්ගෙන් ඔවුන් තමාව ආරක්ෂා කර ගැනීමට ඉඩ තිබුණි.

    විශ්වයාධිපතිඳුන්ගේ ශුද්ධ ග්‍රන්ථය ලද නූතන මුස්ලිම් සමාජයේ යථාර්තය හුවා දක්වන  නිදසුනකි ඉහත උපැහරණය. ශුද්ධ අල්-කුර්ආනය උත්සවයන් ආරම්භ කිරීමටත්, මරණයට පත්වූවන්ට කුසල් අත්කර දීමටත් රමලාන් උපවාස මාසයෙහි වැඩි වැඩියෙන් පාරායනා කර, අනෙකුත් මාස එකොළහේම වසා තබන දහමක් ලෙස සලකන අපේ ඇත්තන්ගේ ක්‍රියාකලාපය අතිශය වේදනා ගෙන දෙන කාරණයකි.

     

    කීර්තිමත් රමලාන් මාසයත්, එහි අන්තර්ගත බලගතු රාත්‍රියත් පුන්‍ය හා පුජනීයත්වය ලැබීමට මුල්වූයේ මෙම ශුද්ධ අල්-කුර්ආනයයි.

    ඉහත විවරණයට උපුටා ගත් අල්-කුර්ආන් වැකිය සැල කරනුයේ ද, ශුද්ධ ග්‍රන්ථය පිළිගත් ඇත්තන් පිළිපැදිය යුතු විධි, පිළිවෙත් පිළිබඳවයි. ශුද්ධ අල්-කුර්ආනය කියවිය යුතු ආකාරයට පාරායනා කිරීමෙන් මෙලෝ හා එලෝ සාර්ථකත්ය හිමිකර ගත හැකිය. මෙය යථා පරිදි පාරායනා කළ යුතුය යන්නට හක්කුත් තිලාවා, යන පදය භාවිතා කර ඇත. ශුද්ධ අල්-කුර්ආනයට දිය යුතු අදාළ යුතුකම් නිවැරුදි ලෙස හඳුනා ගැනීමට හක්කුත් තිලාවා, යන පදයෙහි ගැඹුරු අර්ථය වටහා ගැනීම අනිවාර්ය වේ. අල්-කුර්ආන් විශ්ලේෂක ඉමාම් ඉබ්නු කසීර් තුමා මෙම පදයට නබි නායක තුමන්ගේ හිත මිතුරන්ගේ අදහස් මෙසේ උපුයා දක්වන්නේය.

    නබි අනුගාමික උමර් තුමානෝ මෙම පදය විස්තර කිරීමේදී zහක්කුත් තිලාවා යනු, ස්වර්ගය පිළිබඳ අල්-කුර්ආන් වැකි කියවීමේදී අල්ලාහ්ගෙන් ස්වර්ගය අයදීමත්, නිරය පිළිබඳ අල්-කුර්ආන් වැකි කියවීමේදී නිරයෙන් ආරක්ෂා පැතීමත්ය. යනුවෙන් අර්ථ දැක්වීය.

    නබි සහායක ඉබ්නු මස්ඌද් තුමානෝ පැහැදිලි කිරීමේදී zහක්කුත් තිලාවා යනු, ශුද්ධ අල්-කුර්ආනයේ අල්ලාහ් සුදුසු යැයි පැවසු දේ ප්‍රතිග්‍රහණය කර ගරනීමත්, නුසුදුසු යැයි  පැවසූ දෙයින් වැලකී සිටීමත් හා අල්ලාහ් පහළ කළ ආකාරයට එය පාරායන් කිරීමත්, එහි පද විකෘති නොකර අනිසි අර්ථකථන ඉදිරිපත් නොකිරීමත්ය. යනුවෙන් කරුණු දැක්වීය.

     

    නබි අනුගාමිකයින් වන ඉබ්නු උමර් සහ ඉබ්නු අබ්බාස් යන දෙදෙනා මෙම පදය විස්තර කිරීමේදී හක්කුත් තිලාවා යනු, ශුද්ධ අල්-කුර්ආනයේ මග පෙන්වීම් තම දෛනික ජීවිතයේ නිසි අයුරින් ක්‍රියාවට නැංවීමයි. යනුවෙන් පැහැදිලි කළහ.

     

    නබි අනුගාමිකයින්ගේ ඉහත අදහස් තුලින් ධර්මග්‍රන්ථයට දිය යුතු ධර්මතාවයන් හා විධි, පිළිවෙත් මෙසේ දැක්විය හැකිය.

     

    1- ශුද්ධ අල්-කුර්ආනය තුන්මුණින්  විශ්වාස කිරීම.

     

    2- අල්-කුර්ආනය විධිමත්ව හා ක්‍රමවත්ව පාරායනා කිරීම.

     

    3- එහි අර්ථ හා නියමයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම.

     

    4- එහි උපදේශන අනුව ජීවිතය සකස් කර ගැනීම.

     

    5- එහි මාර්ගෝපදෙශයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.

     

    අල්-කුර්ආනය වෙත අප සතු වගකීම් හා කැපවීම් නිසිලෙස ඉටුකිරීම තුලින් නිසි ප්‍රයෝජන අත්කර ගැනීමට විශ්වාසවන්තයින් පිළිපැදිය යුතු ක්‍රමවේදයන් පිළිබඳව නූතන විද්වතෙකු වන අබුල්හසන් අලි නද්වි තුමන් අනුපිළිවෙළින් මෙසේ සඳහන් කරන්නේය.

    1-    ආශාව හා උනන්දුව

    ඔහුගේ පරමාධිපති විසින් සලකුණක් ඔහුට පහළ කර නැත්තේ මන්දැයි ප්‍රතික්ෂේපකරන්නන් විමසති.  නියතව අල්ලාහ් ඔහුට අභිමත අය නොමඟ යවන්නේය. තවද ඔහු වෙත යොමුවන අයට යහමග පෙන්වන්නේ යැයි ඔබ පවසන්න. 13:27

     

    2- සවන්දීම හා ක්‍රියාවට නැංවීම

    පිළිම වැඳුම් පිදුම් නොකර අල්ලාහ් වෙතම යොමුවන අය, ශුභාශිංසනය ඔවුනට යැයි මාගේ මෙවන් ගැත්තන් වෙත ඔබ සුබාරංචිය  දෙන්න. මොවුන්ය උපදේශයට සවන්දී එහි යහදෙය අනුගමනය කරන්නෝ. අල්ලාහ් විසින් යහමඟ පෙන්වූ අයත් මොවුන්ය. නුවණැත්තෝද  මොවුන්මය. 39:17,18

     

    3- ශ්‍රද්ධාවය හා බිය බැතිමත්කම

    (දෙවිඳුන් වෙත) බිය බැතිමත් වන්නා නොපමාව (සත්‍යය)අවබෝධ කර ගන්නේය. 87:10

    ඔවුන් පවසන දේ අපි මැනවින් දනිමු. ඔබ ඔවුන් මත බලකරන්නෙක් නොවේ. මාගේ බියසනට බියවන්නාට කුර්ආනයෙන් අනුශාසනය කරන්න. 50:45

     

    4- අදිසි දේ විශ්වාස කිරීම

    මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථයයි. එහි කිසිදු සැකයක් නොමැත. (මෙය) ශ්‍රද්ධාවන්තයින්ට යහමඟ පෙන්වන්නකි. (ශ්‍රද්ධාවන්තයින් වන) ඔවුන්, අදෘශ්‍යමාන දේ විශ්වාස කරති. සලාත් නැමදුමෙහිද නිරතවෙති. අප දුන් සම්පත්තියෙන් (පුණ්‍ය කි්‍රයාවන්හි) විය හියදම්ද කරති.  2:2,3

     

    5- අධ්‍යනය තුලින් අවබෝධ කර ගැනීම

    ඔවුන් (මෙම) කුර්ආනය මෙනෙහි නොකරන්නේ ද? නැතහොත් ඔවුන්ගේ හදවත්හි අගුලු ද? 47:24

     

    6- අප වෙත පරිශ්‍රමයෙහි යෙදෙන අයට නියතව අපි අපගේ මංමාවත් පෙන්වන්නෙමු. නියතවශයෙන් අල්ලාහ් යහකම් කරන අය සමගය. 29:69

    ලෝ වැසියනට ආශිර්වාදයක් ලෙස පහළ කැරුණු ශුද්ධ අල්-කුර්ආනය ලෝවැසියන් සියල්ලන්ට හිමි දායාදයකි. මෙය එක් කන්ඩායමකට හෝ ජාතියකට හෝ අයිති යැයි පැවසිය නොහැක. අල්-කුර්ආනය වටහා ගත හැක්කේ විද්වතුන්ට පමණක්ය යන මතයද ඉස්ලාමිය මතයක් නොවේ. ඉස්ලාමය පිළි නොගත් මෙවන් පටු අදහස් තුලින් පූජක පක්ෂයක් බිහි කිරීමට එය උරදෙනවාට සැකයක් නොමැත. ආගම අර්ථ විග්‍ර කිරීමේ අයිතිය පූජක පක්ෂයට පමණක් වලංගුය යන්න යුදෙව් ආගම්වාදීන්ගේ මතයකි.

    ඇත්තෙන්ම කුර්ආනය මෙනෙහි කිරීමට අපි එය ලෙහෙසි පහසු කළෙමු. සවන් දෙන්නෙක් සිටිත්ද? 54:17

     

    අල්ලාහ් අල්-කමර් පරිච්චේදයේ පමණක් ස්ථාන හතරක ඉහත සඳහන් ආකාරයෙන් අප සැමගෙන් පුනපුනා විමසීම තුලින් ලෝ වැසියන් සැමදෙනා අවබෝධ කර ගත හැකි ආකාරයෙන් අල්-කුර්ආනය අනාවරණය කළ බව මනාව පැහැදිළි වන්නේය. මෙය විශ්ව සමාජයටම හිමි දේව ග්‍රන්ථයක් බවට ශුද්ධ අල්-කුර්ආනයේ බොහෝ ස්ථානවල සඳහන් වී ඇති ආකාරය දැක ගත හැකිය.

    උපවාස රමළාන් මාසය යනු, මනුෂ්‍ය වර්ගයාට නිවැරුදි මග පෙන්වන, සත්‍යයෙන් අසත්‍යය දෙබෑ කර යහ මගද විදහා දක්වන ශුද්ධ කුර්ආනය පහල වූ මාසයයි. 2:185

    මිනිසුන්ගේ අවධානය යොමුවනු පිණිස අල්ලාහ් ඔහුගේ ආඥාවන් මෙසේ පැහැදිලි කරන්නේය. 2:221

     

    තවද මිනිසුන් මෙනෙහි කිරීම සඳහා මෙම කුර්ආනයේ සෑම අයුරකින් යුක්තවූ උපමාවන් අප ගෙනහැර දක්වන්නෙමු. 39:27

    එසේනොව, නියත වශයෙන් මෙය සිහිපත් කිරීමකි. ඉතින් සිතැඟි අය එය මෙනෙහි කරත්වා. 74:54,55

     

    ශුද්ධ අල්-කුර්ආනය ඉමක් කොනක් නැති සාගරයක් මෙන්ය. එහි කිමිදෙන සැම නියතව මුතු ඇට ලබා ගන්නවාමය.  ඔවුනට මුතු ඇට ලබා ගත හැකිවන්නේ ඔවුනොවුන්ගේ උත්සාහය හා හැකියාවනට අනුකූලවය. එබැවින් ශුද්ධ අල්-කුර්ආනය හැකිතාක් අධ්‍යයනය කිරීම තුලින් එහි ඵලය අත්කර ගැනීමට වෙර දැරීම අප සැමගේ වගකීමකී.

     

    අරාබි භාෂාව මෙයට බාධාවක් නොවිය යුතුය. අරාබි භාෂාව අධ්‍යයන කළ යුත්තේද ශුද්ධ අල්-කුර්ආනය වටහා ගැනීමටය. උතුම් රමලාන් මාසය අබියස සිටින අපි අල්-කුර්ආනය පාරායනා කිරීමේදී,හක්කුත් තිලාවා යන කුර්ආනයට දිය යුතු නිසි වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට වග බලාගත යුතුය.

     

    ශුද්ධ අල්-කුර්ආනය පාරායනා කිරීමෙන් පමණක් නොනැවති, එහි මග පෙන්වීම් තම දෛනික ජීවිතයේ නිසි අයුරින් ක්‍රියාවට නැංවීමටත්, අන් සහෝදරයින්ටත් මෙම වගකීම් වටහා දීමට අමතක නොකරමු.

     

    උපුටා ගැනීම : ආරාධනා වෙබ් අඩවිය